කැස්පියන් මුහුද හරහා යුරෝපයට දිවෙන මැද කොරිඩෝරය

පසුගිය සති කිහිපය පුරා අපේ කතා-බහ විසිර ගියේ කසාක්ස්තානයේ සුවිසල් ස්ටෙප්ස් තණබිම් සහ තෙල් බිම් තුළය. තෙංගිස් තෙල් ක්ෂේත්‍රයේ සැලසුම් ඉංජිනේරුවකු ලෙස මා ලැබූ අත්දැකීම්, තාක්ෂණ කරුණුවලින් නොනැවතී, ලෝක ගෝලයේ විශාල වපසරියක විහිද ගියේය. අනෙක් අතට තෙංගිස් භූමිය සතු සුවිශේෂ පිහිටීම නිසා එය ලෝක බලශක්ති හා ප්‍රවාහන කතාබහේදී මර්මස්ථානයක් බව මට තේරුම් ගියේය. කසාක්ස්තානයේ කැස්පියන් වෙරළේ පිහිටි අක්තාවූ හෝ කුරික් තොටුපොළෙන් නැඟී, ලොව විශාලතම විල වන මහා කැස්පියන් මුහුද තරණය කරන්නට, ඉන් පසු එතැන් සිට අසර්බයිජානය හරහා යළිත් මා දැනට ජීවත් වන තුර්කියේ ඉස්තාන්බුල් නගරය වෙත මනසින් ගොඩවදින්නට මම කැමැත්තෙමි.

 

මා මුලින්ම මේ තාක්ෂණික සහ සංචාරක සවාරිය ආරම්භ කළේ වියළී යන අරල් මුහුදේ දුක්බර කතාවෙනි. කාලයක් මගේ කසාක්ස්තාන අත්දැකීම් ලබන්නට සිදු වූයේ කැස්පියන් මුහුද අද්දරය. අද වන විට කැස්පියන් මුහුද පමණක් නොව; ඉන් බටහිරට වන්නට පිහිටි තවත් අපූරු මුහුදු හතරක් ගැන ලියන්නට මතක සටහන් එකතු වී තිබේ. මන්ද යත්: තුර්කියේ වෙසෙන අයකුට දිනක් ඇතුළත මාර්මරා මුහුද, කළු මුහුද, එජියන් මුහුද සහ මධ්‍යධරණී මුහුද අද්දරට සංචාරය කරන්නට භූගෝලීය වශයෙන් හැකියාව පවතින නිසාය. මා සිටින තැනට ඈතින්ම පිහිටි මධ්‍යධරණී මුහුදට පවා පැයක ගුවන් ගමනකින් ළඟා විය හැකිය.

 

මේ සියලු මුහුදු වෙරළවල් අසල මා ගත කළ කාලයන්හිදී මට නිතර සිතුණේ, මේවා මොන තරම් නම් නිහඬ, අහිංසක මුහුදුද යන්නය. මහා සාගරය මෙන් මේවා ඉහළට රළ නඟන්නේ නැත. බියකරු, ඝෝෂාකාරි හඬක් නඟමින් වෙරළ බිඳින්නේද නැත. අපව තිගස්සවන ප්‍රචණ්ඩ රළ ගෙඩි මේ මුහුදුවල දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒවා බොහෝ විට වැවක් මෙන් නිසලය; ශාන්තය.

 

වරක් මම කසාක්ස්තානයේ තෙංගිස් ව්‍යාපෘතියේ සේවය කරන කාලයේ, නිවාඩු ලබා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වෙමින් සිටියෙමි. එහෙත් එවකට කසාක්ස්තානයේ ප්‍රධාන ගුවන් තොටුපොළ වූ අල්මටි හරහා පැමිණීමට මට ගුවන්යානයක් සොයා ගැනීමට නොහැකි විය. අපේ ගුවන් ටිකට් පත් කටයුතු සූදානම් කරන කාර්යාලයීය නිලධාරිනිය මට අපූරු විකල්පයක් යෝජනා කළාය:

 

“අල්මටි හරහා යන්න ඉඩ නැති නිසා, මම ඔයාට අසර්බයිජානයේ බකු අගනගරය හරහා ඩුබායිවලටත්, එතැනින් කොළඹටත් යන්න ටිකට් එකක් ලෑස්ති කරලා දෙන්නම්,” ඇය පැවසුවාය.

 

ලෝක සිතියමේ අලුත් නගරයක්, අලුත් සංස්කෘතියක් දැක ගැනීමට ලැබෙන නිසා මමද ඉතා කැමැත්තෙන් ඒ ගමනට එකඟ වුණෙමි. මෙවේලේ මා සමඟ සිටි තවත් මිතුරකු කතාවට එකතු වෙමින් පැවසුවේ තවත් අපූරු අදහසකි:

 

“ඔයා තවත් කැමැති නම්, මේ කසාක්ස්තානයේ ඉඳන් කැස්පියන් මුහුද හරහා ෆෙරියක ගිහින් බකු නගරයට යන්න ක්‍රමයක් තියෙනවා,” ඔහු කීවේය.

 

එවිට අර නිලධාරිනිය සිනා සෙමින් මට මෙසේ පැවසුවාය:

 

“හැබැයි ඔයාගේ සති දෙකේ නිවාඩුවෙන් දවස් හතරක් විතර මේ ගමනටම කැප කරන්න වෙයි. ගමනට නෙවෙයි කාලේ යන්නේ, අවශ්‍ය දුම්රිය හා ෆෙරි වෙන් කරවා ගන්නයි, ඒ වගේම එතැන තියෙන අමුතු නිලධාරිවාදයට මුහුණ දෙන්නත් අමාරුයි. ඒ රටවල් හරහා යද්දී ආයෙ ආයෙ වීසා චෙක් කරනවා. ඒ නිසා ඔය කැස්පියන් ගමන පස්සේ දවසක කරන්න.”

 

මෑතකදී මා කියවූ එක්තරා සංචාරක බ්ලොග් අඩවියක සටහනක්ද මගේ මේ මතකය නැවතත් අවදි කළේය. එහි විස්තර වූයේ හුදෙක් සංචාරක අත්දැකීමක් පමණක් නොවේ; එය ලෝකයේ විශාලතම විල වන කැස්පියන් මුහුද හරහා දුම්රිය මැදිරියක කිලෝමීටර් හාරසීයකට අසන්න දුරක් ගමන් කිරීමේ කතාන්දරයයි. බොහෝ දෙනකුට දුම්රියක් මුහුද හරහා ගමන් කරන්නේ කෙසේද යන්න මවිතයට කරුණක් විය හැකිය. එය දුම්රිය නාවික ඒකාබද්ධ නූතන බහු-මාදිලි ප්‍රවාහන ක්‍රමයකි. තාමත් මගී ප්‍රවාහනයට මෙකී දුම්රිය ගමන ජනප්‍රිය නැතත්, භාණ්ඩ ප්‍රවාහනය නම් ජයටම කෙරේ. අසර්බයිජානයේ හා කසාක්ස්තානයේ බහු-මාදිලි ප්‍රවාහනයට පහසුකම් සලසන නවීන වරාය කිහිපයක්ම ඉදි වී තිබේ.

 

ලෝකයේ ඉස්මතු වෙමින් තිබෙන බල සම්පන්නම ප්‍රවාහන මඟක් වන මධ්‍යම කොරිඩෝව ඔස්සේ චීනයේ සිට යුරෝපයට යද්දී මහා කැස්පියන් මුහුද තරණය නොකර යන්නට බැරිය. මගේ මිතුරා මට විහිළුවට මෙන් යෝජනා කළේ ඒ මාර්ගයේ යන්නටය. මේ ගමනේදී, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පෙට්ටි කෙළින්ම ධාවනය කරවනු ලබන්නේ දැවැන්ත ‘දුම්රිය තොටුපළවල්’ ලෙස හඳුන්වනු ලබන විශේෂ නෞකා තුළටය. දුම්රිය මාර්ගය මුහුදු වෙරළෙන් අවසන් නොවේ; එය නැව තුළ ඇති රේල් පීලි සමඟ බද්ධ වෙයි. මුහුදෙන් එතෙර වූ පසු, නැවතත් එම දුම්රිය මැදිරි ගොඩබිමේ රේල් පීලි මතට ගෙන ගමන ආරම්භ කරයි. වෘත්තීය ඉංජිනේරු විද්‍යාවේදී සහ සැපයුම් දාම කළමනාකරණයේදී එය බහුවිධ ප්‍රවාහන ක්‍රමයකි.

 

කැස්පියන් මුහුද වටා ඇති කසාක්ස්තානය සහ අසර්බයිජානය වැනි මධ්‍යම ආසියානු රටවල් හරහා ගමන් කිරීම යනු වීසා සහ රාජ්‍ය තාන්ත්‍රික අනුමැතීන් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගාත්මක ක්‍රියාවලියකි. සංචාරකයකුට මෙය වෙහෙසකර අත්දැකීමක් වන අතර, එක් එක් රටවලට ආවේණික වූ රේගු නීති, දේශසීමා පාලන ක්‍රමවේද සහ නිලධාරිවාදි රාමුව තුළ, එකම දුම්රියක් සහ එහි කාර්ය මණ්ඩලය රටවල් කිහිපයක් හරහා බාධාවකින් තොරව මෙහෙයවීම යනු අතිශය සංකීර්ණ මෙහෙයුමකි. මෙහිදී එක් කලාපයකදී සිදු වන සුළු ප්‍රමාදයක් මුළු සැපයුම් දාමයේ බිඳ වැටීමට හේතු විය හැකිය.

 

මේ අභියෝගය ජය ගැනීම සඳහා ලෝකය භාවිත කරන්නේ අපූරු ව්‍යාපාරික ආකෘතියකි. එය අන්තර්ජාතික ව්‍යාපෘති සහයෝගිතාව සහ හවුල්කාරිත්වය පිළිබඳ කදිම නිදසුනකි. කැස්පියන් මුහුද හරහා සිදු වන මේ දුම්රිය මෙහෙයුමේදී, එක් රටකට සහ එක් සමාගමකට අයත් දුම්රිය එංජින් සහ මැදිරි, වෙනත් රටක නෞකා සහ යටිතල පහසුකම් සමඟ බද්ධ වී, එකම කළමනාකරණ පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වේ. දේශසීමා වෙනස් වුවද, භාණ්ඩ හිමිකරුට හෝ පාරිභෝගිකයාට දැනෙන්නේ එය තනි සමාගමක් විසින් කරනු ලබන ඒකාබද්ධ සේවාවක් ලෙසය.

 

4.3-3-585×390

මේ ක්‍රියාවලිය ගුවන් සේවා කර්මාන්තයේ දකින්නට ලැබෙන ගෝලීය සන්ධානයන්ට බෙහෙවින් සමානය. ඔබ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලබාගන්නා ප්‍රවේශ පත්‍රයකින්, ලංඩන් නුවරින් එපිටට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක ගමන් කරන විට, පසුබිමේ ක්‍රියාත්මක වන්නේ මෙවැනිම ඒකාබද්ධ ව්‍යාපෘති එකඟතාවකි. එහිදී මෙහෙයුම් ප්‍රමිති, අවදානම් බෙදාගැනීම, ආදායම් කළමනාකරණය සහ තාක්ෂණික අනුකූලතාව පිළිබඳ ගෝලීය මට්ටමේ එකඟතා තිබිය යුතුය.

 

කැස්පියන් මුහුද මැදින් යන දුම්රියේ කතාව අපට කියා දෙන වැදගත්ම පාඩම වන්නේ ‘පද්ධති ඒකාබද්ධතාව’ යන්නයි. විවිධ සංස්කෘති, විවිධ භාෂා සහ විවිධ නීති පද්ධති සහිත රටවල් තුනක් හෝ හතරක් එකම අරමුණක් වෙනුවෙන් එක පෙළට පෙළගැස්වීම පහසු නැත. භෞතිකව රේල් පීලි දෙකක් එකට යා කිරීම ඉංජිනේරු තාක්ෂණයෙන් කළ හැකිය; එහෙත් රටවල් දෙකක පරිපාලන පද්ධති සහ තාක්ෂණ පද්ධති එකතු කිරීම අභියෝගාත්මක වුවත් කළ යුතුම දෙයකි.

 

අද ලෝකය හුදෙක් සිතියමක ඇඳ ඇති දේශසීමා අනුගමනය කරමින් හුදෙකලාව පැවතිය නොහැකි මට්ටමට එකිනෙකා මත යැපෙන ජාලයක් බවට පත් වී ඇත. චීනයේ සිට යුරෝපය දක්වා දිවෙන මේ ‘මැද කොරිඩෝව’ සාර්ථක වන්නේ දේශපාලන මතභේද පසෙක ලා, ආර්ථික සහ ව්‍යාපෘතිමය ප්‍රතිලාභ උදෙසා රටවල් එක් වන බැවිනි.

🔗 Read the original article here

Mask-group-2

Written by:

Eng. Tilakasiri Ekanayaka

PMP(PMI-USA), PMI-RMP, PMI ATPI , MBA, B.Sc. Eng., Chartered Engineer , PMO Lead Procons Group

Share:

You May Also Like

We were sitting at our usual spot along the Bosphorus last weekend, tulip shaped glasses of tea warming our hands,...
  • June 24, 2026
පසු­ගිය සති අන්තයේ අපි බොස්ෆ­රස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි වෙර­ළ­බඩ අව­න්හ­ලක සුපු­රුදු පරිදි අසුන් ගෙන සිටි­යෙමු. තුර්කියේ සාම්ප්‍ර­දා­යික ටියු­ලිප් හැඩයේ...
  • June 15, 2026
AI tools are now entering project work through many small doors. A team member uses them to draft minutes. A...
  • June 15, 2026