බ්‍රෝහි­යර් හා දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතුකාගා­රය

දිය­ත­ලාව නග­රා­ස­න්නයේ පිහිටි අපේ ගම්මා­නයේ පසු­ගිය වසර සිය­යක පමණ කාලය තුළ සැල­කිය යුතු පිරි­සක් රජයේ රැකි­යා­වල නිරත වූහ. ඒ අතු­රින් වැඩි පිරි­සක් කළ රජයේ රස්සාව වූයේ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ අත්උ­ද­වු­ක­රු­වන් ලෙස සේවය කිරී­මයි. අපේ ගම්තු­ලානේ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව හැඳි­න්වූයේ ‘සරු­වර් එක’ යනු­වෙනි. එහි රැකි­යාව කළ අය ගැන කීවේ ‘සරු­වර් එකේ වැඩ කර­නවා’ කියාය.

 

දිය­ත­ලාවේ සරු­වර් එකත්, ඒ අවට පිහිටි හමුදා කඳ­වු­රුත් නිසා ගමේ සාක්ෂ­ර­තාව සහ ලෝක දැනුම ඇති මිනි­සුන් බහුල වීමට සැල­කිය යුතු බල­පෑ­මක් ඇති විය. සරු­වර් එකේ සේවය කළ බොහෝ දෙනා රට පුරා ඈත දනව්, නිය­ම්ගම්, කඳු­කර සහ වන ලැහැබ් මැනී­මට ගියහ. මාස ගණ­නක් නිවෙ­සින් බැහැ­රව සිට නැවත ගමට පැමිණි ඔවුන් අතු­රින් ඇතැ­මෙක් තමන් ගිය ඈත ගම­කින් ප්‍රිය­ම­නාප යුව­ති­ය­කද කැඳ­වා­ගෙන ආවෝය. එසේ අපේ ගමේ පවු­ල්ව­ලට රටේ විවිධ පළා­ත්වල සිරිත් විරිත්, භාෂා ව්‍යව­හාර සහ ලේ උරු­ම­යද එක් විය.

 

එකල සරු­වර් එකේ පියා­ගෙන් පුතාට රැකි­යාව ලැබෙන ආකා­රයේ වැඩ­පි­ළි­වෙ­ළක්ද තිබූ බව ගමේ පැරැ­ණියෝ කියති. ඒ නිසා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව යනු අපේ ගමේ පවුල් ගණ­නා­වක ජීවිත පර­ම්පරා කිහි­ප­යක් පුරා බැඳී තිබුණු ආය­ත­න­යක් විය. එහි රැකි­යාව වැටු­පක් ලැබෙන සේව­යක් පම­ණක් නොව, ගම්මා­නය හා රටේ සෙසු ප්‍රදේශ අතර දැනුම, අත්දැ­කීම් හා මිනිස් සබ­ඳතා හුව­මාරු කළ පාල­මක්ද වූයේය.

 

එහෙත් දිය­ත­ලාවේ මිනි­න්දෝරු කඳ­වුරේ සේවය කළ අයගේ දරු­මු­නු­පු­ර­න්ගෙන් බොහෝ දෙනා­වත්, දිය­ත­ලාව අවට වාසය කරන ජන­තා­ව­වත්, දිය­ත­ලාව සහ බණ්ඩා­ර­වෙල සංචා­රය කර ඇති ලක්ෂ සංඛ්‍යාත පිරි­ස­වත් නොදන්නා අපූරු දෙයක් තිබේ.

 

ඒ, දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතු­කා­ගා­ර­යක් තිබෙන බවය. අද එය ‘ආචාර්ය ආර්.එල්. බ්‍රෝහි­යර් කෞතු­කා­ගා­රය’ (Dr. R. L. Brohier Museum) ලෙස හඳු­න්වනු ලැබේ.

 

එමෙන්ම ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­නයේ සාමා­ජික සාමා­ජි­කා­වන් දහස් ගණ­නක් අතර පවා එත­රම් ප්‍රකට නොවූ තවත් අපූරු කරු­ණක් තිබේ. ඉංජි­නේරු උපා­ධි­යක් නොතිබූ මිනි­න්දෝ­රු­වකු 1956 වසරේ එම ආය­ත­නයේ පූර්ව­ගාමි ඉංජි­නේරු සංග­මයේ සභා­ප­ති­ව­රයා වී තිබී­මයි. ඒ මිනිසා රිචඩ් ලෙස්ලි බ්‍රෝහි­යර් හෙවත් ආර්.එල්. බ්‍රෝහි­යර්ය.

 

1892 ඔක්තෝ­බර් 5 වැනිදා උපත ලැබූ බ්‍රෝහි­යර් 1910දී මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වට එක් විය. ඔහු එහි පළමු ලාංකික මිනි­න්දෝ­රුවා ලෙසද සඳ­හන් වේ. ඔහුගේ පවුල් මූල­යන් යුරෝ­පීය සම්භ­ව­යන් දක්වා දිව ගියද, ඔහුගේ ජීවිත කතාව කිය­වන විට පෙනෙන්නේ ඔහුගේ සැබෑ අන­න්‍ය­තාව ශ්‍රී ලංකාව සමඟ ඇති කර­ගත් අසී­මිත බැඳීම බවයි.

 

යම් දිනෙක ශ්‍රී ලංකා­වට වැඩිම සේව­යක් කළ මිනි­න්දෝ­රුවා කවු­දැයි යමෙකු මගෙන් ඇසු­ව­හොත්, මගේ පිළි­තුර දෙව­රක් නොසි­තාම “ආර්.එල්. බ්‍රෝහි­යර්” යන්නයි.

 

එහෙත් ඔහු “මිනි­න්දෝ­රු­වෙක්” යන එක් වච­න­ය­කින් හඳුන්වා අව­සන් කළ නොහැකි අයෙකි. ඔහු ඉති­හා­සය සොයා ගිය පර්යේ­ෂ­ක­යෙකි; පුරා­වි­ද්‍යා­වට හා මානව ජීවි­ත­යට ඇලුම් කළ නිරී­ක්ෂ­ක­යෙකි‍; සංචා­රක ලේඛ­ක­යෙකි; ස්වභා­ව­ධ­ර්ම­යට ආද­රය කළ සංවේදි මිනි­සෙකි; ඒ සිය­ල්ල­ටත් වඩා, ශ්‍රී ලංකාව නම් දිව­යිනේ ආත්මය කියවා ලෝක­යට හඳුන්වා දුන් මහා ලේඛ­ක­යෙකි.

 

අද අප GPS, ඩ්‍රෝන යානා හා චන්ද්‍රිකා තාක්ෂ­ණ­යෙන් මිනිත්තු කිහි­ප­ය­කදී භූමිය මනිමු. එහෙත් මීට සිය­ව­ස­කට පෙර රට මිනූ මිනි­සුන්ට තිබුණේ තියෝ­ඩ­ල­යි­ට­යක්, මිනුම් දාම­යක්, සට­හන් පොතක් සහ අප්‍ර­මාණ ධෛර්ය­යකි.

 

ශ්‍රී ලංකා මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව අදින් වසර දෙසි­ය­ය­ක­ටත් පෙර ආරම්භ වූ මෙරට පැර­ණි­තම රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වකි. රටේ ඉඩම් හා මායිම් මැනීමේ සිට මාර්ග, දුම්රිය, වාරි­මාර්ග හා නගර සංව­ර්ධ­නය දක්වා රට ගොඩ­නැ­ඟීමේ හැම අදි­ය­ර­ක­ටම මේ මිනුම් පද­නම විය. මාර්ග­යක් තැනී­මට පෙර, ජලා­ශ­යක් ඉදි කිරී­මට පෙර හෝ දුම්රිය මාර්ග­යක් සැල­සුම් කිරී­මට පෙර භූමිය කිය­ව­න්නට සිදු විය. ඒ අර්ථ­යෙන් මිනි­න්දෝ­රුවා යනු ඉංජි­නේ­රු­වාට කලින් භූමිය කියවා දෙන විද්‍යා­ඥ­යාය.

 

දිය­ත­ලාවේ මිනි­න්දෝරු කෞතු­කා­ගා­රයේ පැරණි තියෝ­ඩ­ල­යිට්, ප්ලේන් ටේබල්, මිනුම් දාම, සිති­යම්, ඡායා­රූප සහ වෙනත් උප­ක­රණ අත­රින් ඇවිද යන විට මේ දිගු ඉති­හා­ස­යෙන් බිඳක් හෝ තේරුම් ගත හැකිය. ඒවා හුදෙක් පැරණි උප­ක­රණ නොව, රටක භූමිය අඟ­ලෙන් අඟල මැන සිති­ය­ම්ගත කළ පර­ම්ප­රා­වක නිහඬ සාක්ෂිය.

 

සාමාන්‍ය මිනි­න්දෝ­රුවා භූමියේ දිග-පළල මැන, එය ද්විමාන සිති­ය­ම­කට ගෙන ආවේය. බ්‍රෝහි­යර් එතැ­නින් නතර වූයේ නැත. ඔහු ඒ භූමියේ ජීවත් වූ මිනි­සුන්, ඔවුන්ගේ ජන­ප්‍ර­වාද, ජීවන රටා, වාරි සංස්කෘ­තිය සහ ඉති­හා­ස­යද ඒ මිනු­මට එක් කළේය. එසේ බැලූ විට ඔහු කළේ රටේ භූමිය මැනීම පම­ණක් නොව, එයට මිනිස් ජීවි­තය එක්කොට ත්‍රිමාණ කිය­වී­මක යෙදී­මකි. එප­ම­ණක් නොව, ඔහු ඒ දුටු දේ අනර්ඝ ලෙස ලියා තැබු­වේය.

 

ඒ නිරී­ක්ෂණ පසුව Seeing Ceylon, Discovering Ceylon, Ancient Irrigation Works in Ceylon, Changing Face of Colombo ආදි කෘති ඔස්සේ නැවත අප වෙත පැමි­ණි­යේය. පැරණි වැවක් පිළි­බඳ ලියන විට බ්‍රෝහි­යර් එහි ජන­ප්‍ර­වා­දය පම­ණක් නොලි­යයි. වැව් බැම්මේ පිහි­ටීම, ජලය ගලා යන ආකා­රය, ඇළ මාර්ග සහ භූමිය අතර ඇති ඉංජි­නේරු සම්බ­න්ධ­තා­වද මිනි­න්දෝ­රු­ව­කුගේ ඇසින් කිය­වයි. එබැ­වින් ඔහුගේ පොත් සංචා­රක සට­හන් පම­ණක් නොව, රටේ භූමිය හා මිනිසා එක­වර කිය­වන ලේඛන බවට පත් වේ.

 

බ්‍රෝහි­යර් පිළි­බඳ එතෙක් මා නොදැන සිටි අපූරු කරු­ණක් දැන­ගත්තේ ශ්‍රී ලංකා ඉංජි­නේරු ආය­ත­න­යට ගිය මුල්ම දින­ය­ක­දීය. එදා මෙදා­තුර එහි සභා­ප­ති­ව­රුන්ගේ සේයා රූ පෙළ අතර බ්‍රෝහි­යර්ගේ තේජ­වන්ත රුව දුටු මම මොහො­ත­කට පුදු­ම­යට පත් වීමි.

 

“බ්‍රෝහි­යර් ඉංජි­නේ­රු­වෙක්ද?”

 

ඒ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ එවි­ටය. ඉංජි­නේරු උපා­ධි­යක් නොතිබූ මේ මිනි­න්දෝ­රුවා එම ඉංජි­නේරු ආය­ත­නයේ පූර්ව­ගාමි සංග­මයේ සභා­පති පුටුව දක්වා පැමිණ තිබීම, ඔහුගේ විද්ව­ත්භා­ව­යට හා වෘත්තීය පිළි­ගැ­නී­මට ලැබුණු සුවි­ශේෂ ගෞර­ව­යක් ලෙස මට පෙනේ.

 

මාර්ටින් වික්‍ර­ම­සිංහ අපේ ගම හා එහි මිනිසා සිංහ­ලෙන් අම­ර­ණීය කළේ නම්, බ්‍රෝහි­යර් ශ්‍රී ලංකාවේ ගැමි ජීවි­තය, භූමිය හා උරු­මය ඉංග්‍රීසි බසින් ලෝක­යට ගෙන ගියේය.

 

දිය­ත­ලාවේ ඇති මේ කෞතු­කා­ගා­රය සාමාන්‍ය ජන­තා­වට හා සංචා­ර­ක­යන්ට පහ­සු­වෙන් ළඟා විය හැකි ආකා­ර­යට තව­දු­ර­ටත් සංව­ර්ධ­නය කර ප්‍රව­ර්ධ­නය කළ හැකි නම්, එය දිය­ත­ලා­වට සුවි­ශේෂ සංචා­රක හා අධ්‍යා­ප­නික වටි­නා­ක­මක් එක් කරනු ඇත. බ්‍රෝහි­යර්ගේ යුරෝ­පීය පවුල් මූල­යන්, මිනි­න්දෝරු ජීවි­තය, ශ්‍රී ලංකාවේ වාරි ඉති­හා­සය සහ ඔහුගේ ලේඛන එක් කතා­වක් ලෙස එහි ඉදි­රි­පත් කළ හැකිය.

 

එවිට එය පැරණි මිනුම් උප­ක­රණ තැන්පත් කර ඇති කෞතු­කා­ගා­ර­යක් පම­ණක් නොව, ශ්‍රී ලංකාව මැන­ගත් මිනි­සුන්ගේ කතාව කියන, දෙස් විදෙස් සංචා­ර­ක­යන් ඇද­ගන්නා ජීව­මාන මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් වනු ඇත.

 

බ්‍රෝහි­යර් ගැන කිය­න්නට තවත් බොහෝ දේ තිබේ. මිනි­න්දෝ­රු­වකු ලෙස ඔහු රටේ භූමිය මැන්නේය; ලේඛ­ක­යකු ලෙස ඒ භූමි­යට මිනි­සාත්, ඉති­හා­ස­යත්, මත­ක­යත් එක් කළේය.

ශ්‍රී ලාංකි­ක­යන් වඩාත්ම ණය­ගැති මිනි­න්දෝ­රුවා ආර්.එල්. බ්‍රෝහි­යර් යැයි මා නැව­තත් කියන්නේ ඒ නිසාය. ඔහු ගැන තවත් දව­සක නැවත ලිය­න්නට සිතා සිටිමි.

🔗 Read the original article here

Mask-group-2

Written by:

Eng. Tilakasiri Ekanayaka
Share:

You May Also Like

Over the past century or so, a remarkable number of people from our village, near Diyatalawa, found employment in government...
  • August 20, 2026
පසු­ගිය සතියේ මහ­වැලි නදිය මතින් විහි­දෙන පේරා­දෙ­ණිය සර­සවි බිමේ මන­ස්කාන්ත අක්බාර් මගී පාලම මත අපි මොහො­තක් නැව­තු­ණෙමු. පාල­මක් ගැන ලියන්න...
  • July 19, 2026
We were sitting at our usual spot along the Bosphorus last weekend, tulip shaped glasses of tea warming our hands,...
  • June 24, 2026